Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th November 2023 15:18:16 Hours

පල්ලෙකැලේ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ නව පහසුකම් සංකීර්ණය විවෘත කෙරේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් පල්ලේකැලේ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව බේකරිය හා ආපනශාලාව, කරණවෑමිහල සහ රූපලාවන්‍යාගාරය පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින විවෘත කරනු ලැබීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මියගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගි විය.

මෙම නව පහසුකම් තුළින් යුද්ධ හමුදා සාමාජිකයින්ට මෙන්ම ප්‍රදේශයේ සිවිල් වැසියන්ට සහන මිල ගණන් යටතේ අවශ්‍යතා සපුරාගැනීමේ හැකියාව පවති.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සම්භාවනීය අමුත්තන් ඇතුළු පිරිස ආගමික වතාවත්හි නිරතවිය. අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මිය සමඟ එක්ව පීත්ත පටිය කපා නව බේකරිය සහ ආපනශාලාව විවෘත කරනු ලැබීය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නව ‘යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කරණවෑමිහල සහ රූපලාවන්‍යාගාරය’ විවෘත කරනු ලැබූහ. පීත්ත පටිය කපා එම කරණවෑමිහල සහ රූපලාවන්‍යාගාරය විවෘත කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම පරිශ්‍රයේද සංචාරය කරනු ලැබූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රයේ සංචාරය සමාප්තියේ 11 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් එම සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සුහද පිළිසඳරක නිරතවිය. සේනාංක මූලස්ථානයෙන් නික්ම යාමට මත්තෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 111 පාබල බලසේනාවේ බලසේනාධිපති, පල්ලෙකැලේ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.