Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th October 2023 23:41:15 Hours

යුද්ධ හමුදා දිනය නිමිත්තෙන් යුද්ධ හමුදා පවුල් වෙත අධ්‍යාපනික උපකරණ පරිත්‍යාගයක්

74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා පවුල්වල සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ උත්සවයක් ඉකුත් බදාදා (ඔක්තෝබර් මස 11) දින දියත් කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය. මෙම ව්‍යාපෘතිය මගින් පාසල් උපකරණ සහ අධ්‍යාපනික උපාංග ඇතුළත් ත්‍යාග පාර්සල් 122 ක් සිසුන් වෙත බෙදා දෙන ලදී.

සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සිසුන් වෙත මෙම ප්‍රතිලාභ හිමිවිය. එම අවස්ථාවට සපැමිණි ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය ළමුන් දෙදෙනෙකු විසින් බුළත් හුරුල්ලක් දී පිළිගනු ලැබීය.

සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා තේමා ගීතය ගායනා කිරීම සහ දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පැවැති මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයකින් පසු උත්සවය ආරම්භ කරන ලදී. තවද එහිදි තෝරාගත් ප්‍රතිලාභීන් පිරිසක් සඳහා ලංකා බැංකුවේ ළමා ඉතුරුම් ගිණුමක් ද ආරම්භ කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි වනිගසේකර මහත්මිය වෙත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් රණවිරු යෝගට් ව්‍යාපෘතිය වෙනුවෙන් ලාභාංශ චෙක්පතක් සහ යෝගට් සීල් යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරන ලදී.

තවද විශේෂ අවශ්‍යතා ඇති තම දරුවාට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සලසා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බළලත් නිලධාරි II වරයෙකු වෙත රුපියල් 200,000/= ක මූල්‍ය පරිත්‍යාගයක් පිරිනමන ලදී.

වැඩසටහන අවසානයේදී ප්‍රතිලාභියෙකු විසින් ස්තුති කතාව සිදුකරමින් ලබාදුන් දිරිගැන්වීම් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත කෘතඥතාව පළ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, උපකරණ මාස්ටර් ජෙනරාල්, හමුදා ලේකම්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවල සභාපතිනියන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.