Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th October 2023 22:27:59 Hours

මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙර පාසල ලෝක ළමා දිනය සමරයි

ජාත්‍යන්තර ලෝක ළමා දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙර පාසලේ දරු දැරියන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් එම පෙර පාසල් පරිශ්‍රයේදී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 05) දින පවත්වනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සව අවස්ථාවට සපැමිණි ජානකී ලියනගේ මහත්මිය මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙර පාසලේ දරුවෙකු විසින් බුලත් හුරුල්ලක් පිළිගන්වමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමිය වෙත පෙර පාසලේ දරුවන්ගේ චිත්‍ර නිර්මාණයන් ප්‍රදර්ශණය කෙරිණි. උත්සවය අතරතුරදී ජානකී ලියනගේ මහත්මිය විසින් සෑම දරුවෙකු වෙනුවෙන්ම පාසල් උපකරණ සහිත ත්‍යාග පාර්සල් බෙදාදුන් අතර, පෙර පාසල් දරුවෙකු විසින් එතුමිය වෙත අඹ පැළයක් ද පිරිනමනු ලැබීය.

උත්සවය සමාප්තියේ එම පෙර පාසලේ දරුවෙකු විසින් ස්තූති කථාව සිදුකිරීමෙන් අනතුරුව පෙර පාසල් දරුවන් ජානකී ලියනගේ මහත්මිය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු තේ පැන් සංග්‍රහයක් සඳහා ද එක්වූහ. එම අවස්ථාවේදී ජානකී ලියනගේ මහත්මිය විසින් පෙර පාසල් දරු දැරියන්, පෙර පාසල් කාර්යය මණ්ඩලය, ගුරු භවතුන් සහ දෙමාපියන්ට සිය සුබපැතුම් පිරිනැමීය.

උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, නන්දනී සමරකෝන් මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්පී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පෙර පාසල් කාර්යය මණ්ඩලය, ගුරුවරුන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ දෙමාපියන් එක්ව සිටියහ.