Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th October 2023 06:44:31 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ සහභාගීත්වයෙන් ලෝක ළමා දින සැමරේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් බෝයගනේ, විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථනයේදී පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 01) දින පැවැත්වූ අතර, ඒ සඳහා එම ප්‍රදේශයේ ළමා නිවාසවල නේවාසිකව සිටින ළමුන් 100 දෙනෙකු සහභාගී වූහ.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, එහිදී විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හිමාලි පුස්සැල්ල මහත්මිය, එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමිය උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

එම රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද ‘Archers’ ප්‍රකාශන අංශය එතුමිය විසින් විවෘත කරනු ලැබූහ. එහිදී, සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා ජාතික ගීය ගායනා කර රටවෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසුව එදින උත්සවයේ කටයුතු ‘The Salute’ ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.

ලෝක ළමා දින වැඩසටහනේදී ඊට සහභාගී වූ ළමයින් ඔවුන්ගේ කලා කුසලතා පැමිණ සිටි පිරිස වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, ඉන් අනතුරුව ජානකී ලියනගේ මහත්මිය, හිමාලි පුස්සැල්ල මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කුරුණෑගල මලියදේව පිරිමි ළමා නිවාසය, කුරුණෑගල මලියදේව බාලිකා ළමා නිවාසය, පොල්ගහවෙල කිරි මුදියන්සේ පිරිමි ළමා නිවාසය, කුරුණෑගල ස්පුට්නික් බාලිකා ළමා නිවාසය, මැල්සිරිපුර ආලෝකා පිරිමි ළමා නිවාසය යන ළමා නිවාසවල ළමුන් 100 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇසුරුම් පාර්සල් ප්‍රධානය කරන ලදී.

උත්සව අවස්ථාවෙන් පසුව ජානකී ලියනගේ මහත්මිය, විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මගින් සංවිධානය කරන ලද තවත් උත්සවයකට සහභාගී වූ අතර, එහිදී විජයබාහු පාබල රෙජිමේන්තුවේ සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 20 දෙනෙකු සඳහා DSI ආයතනය මගින් පිරිනමන ලද පාසල් පාවහන් සහ පාසල් උපාංග ඇතුලත් රු.15,000.00 වටිනාකමකින් යුත් තෑගි වවුචර ලබාදුන්හ.

පැමිණ සිටි ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් පසුව උත්සවයේ කටයුතු නිමාවට පත් විය. උත්සව අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ද සහභාගී වූහ.