Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th September 2023 17:56:20 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ 22 වන වාර්ෂික මහසභා රැස්වීම පැවැත්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ 22 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සාමාජිකයින් 38 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සම්ප්‍රදනුකූලව පොල් තෙල් පහන දල්වා සේවා වනිතා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ විය. එහිදී, පළමුව ඉදිරි වසර සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සිදුකරනු ලැබීය.

රැස්වීමේදී වැදගත් කරුණු රාශියක් පිළිබඳව සමාලෝචනය කරමින් ඉදිරි වසර සඳහා සිදුකිරීමට යෝජිත සැලැස්ම පිළිබඳව අවධානය යොමු කරන ලදී. අනතුරුව, පසුගිය වර්ෂයන්හිදී සිදුකරනු ලද ප්‍රජා සත්කාරක වැඩසටහන් අලලා සකසන ලද වාර්තාමය වීඩියෝ කෙටි වීඩීයෝ දෙවන සැසිවාරය ආරම්භයේදී ප්‍රදර්ශනය කරනු ලැබීය.

උත්සව අවස්ථාව අතරතුරදී පොලිස් හේවා බලකායේ සේවයේ නියුතු භටපිරිස්හි තෝරාගත් පවුල් වල ශ්‍රවණාබාධවලින් පෙළෙන දරුවන් සඳහා ශ්‍රවණාධාර කිහිපයක් ප්‍රදානය කෙරිණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම ශ්‍රවණාධාර ප්‍රදානය කිරීම සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිගේ උපදෙස් යටතේ එම බලකායේ සේවයේ නියුතු භටපිරිස්හි විශේෂ වෛද්‍ය අවශ්‍යතා සහිත දරුවන් සිටින පවුල් සඳහා රුපියල් 75,000.00 බැගින්ද ප්‍රදානය කරන ලදී.

මහා සභා රැස්වීමේ තෙවන සැසිවාරය ආරම්භයේදී ‘Life Management,’ යන මැයෙන් හරවත් දේශනයක් වෘත්තීය උපදේශක සහ මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් පවත්වන ලද අතර, එහිදී ජීවන කුසලතා සහ ස්වයං කළමනාකරණය පිළිබඳ සහභාගී වූවන් දැනුවත් කිරීම සිදුකරන ලදී.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.