Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th September 2023 08:36:31 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 11) දින පැවති අතර එහිදී, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ විශ්‍රාමික/ දිවංගත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දුවා දරුවන් 51 දෙනෙකු වෙනුවෙන් රුපියල් 25,000/- ක වටිනාකමකින් යුත් බැංකු ගිණුමක්, පාසල් බෑග්, අභ්‍යාස පොත් සහ කැට ප්‍රදානය කරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය එම දරුවන්ගේ අධ්‍යාපනික කුසලතාවයන් ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ ආර්ථික දුෂ්කරතාවයන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම උත්සවයේදී යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරනු ලබන සාමාජිකයන්ගේ දරුවන් දස දෙනෙකු වෙත සංකේතාත්මකව එම දිරිගැන්වීම් පිරිනැමීය. මෙම වැඩසටහනට සමගාමීව බළලත් නිලධාරි I ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ සහෝදරියකට ශ්‍රවණාධාරයක් ද පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවේදී, යුද්ධ හමුදා කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සුරතින් රුපියල් ලක්‍ෂ 3 ක මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකළාය. මෙම අවස්ථාවේදී, ප්‍රතිලාභී ළමුන් සමඟින් ජානකී ලියනගේ මහත්මිය සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියාය‍.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි. එම ශාඛාවේ විධායක ලේකම් මේජර් එච්.එස්. වන්නිආරච්චි විසින් පසුගිය රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නව විධායක කමිටුවක් ද පත්කෙරිණි. එමෙන්ම, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී. කුමාරි විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අයවැය සහ ගිණුම් ලේඛන, සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

රැස්වීම සමාප්තියේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සමූහ ඡායාරූප කිහිපයක් සඳහා සහභාගී වූ අතර සුහද තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

නව විධායක කමිටු සාමාජිකාවන් පහතින් දැක්වේ:

සහකාර ලේකම් - හිමාලි පුස්සැල්ල මහත්මිය

මහජන සම්බන්ධතා නිලධාරිනි - ශාන්ති අබේසේකර මහත්මිය

සහකාර මහජන සම්බන්ධතා නිලධාරිනි - ඔමිලා ජයවර්ධන මහත්මිය

සමස්ත ව්‍යාපෘති අධීක්‍ෂණ නිලධාරිනි - නන්දනී සමරකෝන් මහත්මිය