Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th September 2023 23:31:53 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව එක්ව සුභසාධන වැඩසටහනක් දියත් කරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව එක්ව රෙජිමේන්තුවේ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ දරුවන් 100 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා කිහිලිකරු දහයක් හා රෝද පුටුවක්, එම පවුල් වල සාමාජිකයන්ට ස්වයං රැකියා සඳහා මහන මැෂින් හතරක් සහ සිවිල් වැසියන් 21 දෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි බෙදාදීමේ සුබසාධන වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 02) දින ක්‍රියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඔමිලා ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත සිදුකරනු ලැබූ මෙම සුබසාධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 2.5 කට අධික මුදලක් වැය කරන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති මෙම වැඩසටහන සඳහා ඔමිලා ජයවර්ධන මහත්මියගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව දානපතියන් සහ පරිත්‍යාගශීලීන් පිරිසක් මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ අතර, උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, එම රණවිරුවන්ගේ පවුල්වල දරුවන්, දෙමාපියන් සහ ප්‍රතිලාභීන් සහභාගී වූහ.