Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th September 2023 19:53:45 Hours

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අභිනවයෙන් ඉදිකළ රූපලාවන්‍යාගාරය විවෘත කෙරේ

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව රූපලාවන්‍යාගාරය විවෘත කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 1) දින පැවති අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ආර්.බී.ඒ බණ්ඩාර ආර්එස්පීගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූවාය.

රත්මලාන ප්‍රදේශයේ පිහිටි එම අධ්‍යක්‍ෂ මණ්ඩල පරිශ්‍රය වෙත සපැමිණි ජානකී ලියනගේ මහත්මිය යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂතුමන් සමඟ එක්ව එම පරිශ්‍රයේ සේවයේ නියුතු සියලු නිලයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව කාන්තා සෙබලියන්ගේ සුවදුක් විමසා බැලීය.

සමරු ඵලකය නිරාවරණය කර නව රූපලාවන්‍යාගාරය විවෘත කිරීමෙන් අනතුරුව එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාන්තා නිලධාරිනියන් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු සමඟ එක්ව ජානකී ලියනගේ මහත්මිය කාන්තා සෙබලියන්ගේ නවාතැන් පහසුකම් නිරීක්‍ෂණය කරනු ලැබීය.

එම පරිශ්‍රයේ සේවයේ නියුතු කාන්තා සෙබලියෙකු විසින් බුලත් හුරුල්ලක් පිළිගන්වමින් එතුමිය පිළිගැනීමෙන් අනතුරුව අධ්‍යක්‍ෂ මණ්ඩල පරිශ්‍රයේ පුහුණුවීම් සිදුකෙරෙන ශාලා පරිශ්‍රය වෙත කැටුව යනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්පී සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ආර්.බී.ඒ බණ්ඩාර ආර්එස්පීගේ සුරතින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.