Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th August 2023 04:22:50 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේ සංචාරයක

පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේ නේවාසික ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මිය පසුගිය බදාදා (අගෝස්තු මස 09) දින එම සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.

මෙම සංචාරයේදී, රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් පරිත්‍යාග කෙරුණු අතර ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කැලිප්සෝ කණ්ඩායම වෙතින් එම රණවිරුවන් වෙනුවෙන් සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය. එමෙන්ම, එම සුවතා නිකේතනයේ පිහිනුම් තටාකය පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය වන පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ද සභාපතිතුමිය ගේ සුරතින් එම සුවතා නිකේතනය වෙත පරිත්‍යාග කෙරිණි.

සුවතා නිකේතන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ ආයුර්වේද රෝහල වෙතින් කළමනාකරණය කරනු ලබන කඩදාසි ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ද ජානකි ලියනගේ මහත්මිය විසින් නිරීක්‍ෂණය කළාය. යුද්ධ හමුදා සේවා වනිතා සාමාජිකාවන් සමඟ එක්ව එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ අත්කම් නිර්මාණ නිරීක්‍ෂණය කළ එතුමිය එම කුසලතාවයන් ඇගයීමට ලක්කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.