Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th August 2023 12:16:16 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ දායකත්වය මත ‘මනුසත් දෙරණ’ 61 වන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව සමඟ ඒකාබද්ධව ‘දෙරණ’ රූපවාහිනි නාලිකාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘මනුසත් දෙරණ’ ප්‍රජා සත්කාරක වැඩසටහනේ 61 වන වැඩසටහන උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළ පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජුලි මස 29) දින ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මිය සහ ‘මනුසත් දෙරණ’ වැඩසටහනේ සභාපති මහේෂ් ජයවර්ධන මහතා ද සහභාගි වූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, දිවංගත රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීම සහ යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කරනු ලැබීය.

මෙම වැඩසටහන අතරතුරදී, ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමය වෙතින් නොමිලේ අක්‍ෂි පරීක්‍ෂාවන් සිදුකර ඇස් කණ්නාඩි 600 ක් බෙදාදුන් අතර, රාගම ලීසන්ස් රෝහලේ (Leesons Hospital) අනුග්‍රාහකත්වයෙන් වකුගඩු රෝගවල මුල් අවධීන් හඳුනාගැනීම සඳහා පරීක්‍ෂණ 800 ක් සහ කොලෙස්ට්‍රෝල් අවධානම හඳුනාගැනීම සඳහා වෛද්‍ය පරීක්‍ෂණ 150 ක් සිදුකරනු ලැබීය.

මෙම වැඩසටහනට සමගාමීව, ‘Aqua Light’ සමාගම වෙතින් උඩවලව මධ්‍ය මහා විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රයක්, පොල් වගා කිරීමේ මණ්ඩලය වෙතින් දෙමුහුන් පොල් පැළ 500 ක්, ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ‘මනුසත් දෙරණ’ වැඩසටහන යටතේ අත්වාරු 05 ක් සහ සැරයටි 05 ක් පරිත්‍යාග කළහ.

ප්‍රදේශයේ විදුලිය නොමැති නිවාස වෙත Octan පුද්ගලික සමාගම විසින් සූර්ය බලශක්ති පද්ධති 03 ක් සහ වගා කටයුතු සිදුකරනු ලබන අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් කෘමිනාශක ඉසින යන්ත්‍ර 04 ක් ද පරිත්‍යාග කරන ලදී. මේ අතර, Kyodai Lanka Pvt Ltd සමාගම වෙතින් ප්‍රදේශයේ තරුණ තරුණියන් 100 දෙනෙකු වෙනුවෙන් ජපානයේ රැකියා සඳහා යෙදවීමට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. තවද, එම ස්ථානයේ දී යුද්ධ හමුදා සාමාජිකයින් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක් ද පැවැත්විණි.

උත්සවය සමාප්තියේ, යුද්ධ හමුදා සේවා වනිතා එ්කකයේ සභාපතිනි ‘මනුසත් දෙරණ’ වැඩසටහනේ සභාපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර, එතුමන් විසින් ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය ඇගයීමට ලක්කරමින් විශේෂ දේශනයක් ද සිදුකළේය. පසුව, උත්සවයේ පළමු අදියරේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ස්තූති කථාව සිදුකළාය.

එම උත්සවය සමාප්තියෙන් පසුව, ආරාධිතයින් උඩවලව, තිබෝල්කැටිය ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ විශ්‍රාමික කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ නිවසක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූහ. රෝගී තත්ත්වයක් හේතුවෙන් විශ්‍රාම ගැන්වූ මෙම යුද්ධ හමුදා සාමාජිකයා එක්දරු පියෙකු වන අතර ඔහු මේ වනවිට එක්තැන්ව සිටියි. ඔහුගේ භාර්යාව ද රැකියාවක් නොකරන අතර ඔවුන් වෙත නව නිවස ප්‍රදානය කිරීමට ප්‍රථම කටුමැටි නිවසක ජීවත්විය.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි Amila Tyres Pvt Ltd සමාගම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව ඒකාබද්ධව මෙම නව නිවසේ ඉදකිරීම් කටයුතු සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර ඒ වෙනුවෙන් අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළේ භටපිරිස් විසින් ලබාදුන්හ.

මෙම අවස්ථාවන් සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින්, සෙසුනිලයන්, උඩවලව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.