Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th August 2023 12:11:48 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සංවිධානය කරන ලද ‘සෙනෙහසේ කැදැල්ල’ සෞන්දර්යාත්මක වැඩසටහන සාර්ථකව පවත්වයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය , ‘දෙරණ’ මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය එක්ව යුද්ධ හමුදා කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන් වෙනුවෙන් සංවිධානය කළ ‘සෙනෙහසේ කැදැල්ල’ සංගීතමය වැඩසටහන ප්‍රවීණ ගීත රචක ධම්මික බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ජුලි මස 28) දින පනාගොඩදී පවත්වන ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සමඟින් එම ඒකකයේ සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ. අනතුරුව සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් පසුව ‘දෙරණ’ මාධ්‍ය ආයතනයේ අලෙවි කළමනාකරු ගයාන් සංජීව මීගලආරච්චි මහතා සභාව ඇමතීය. මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන් 800කට අධික පිරිසක් එක්ව සිටියහ.

ගීත රචක ධම්මික බණ්ඩාර මහතා විසින් එහිදී මියුරු ගීත සමූහයක් තෝරාගෙන එම ගීතයන්හි අර්ථය, ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා සාහිත්‍යයේ ඇති වටිනාකම, ආදරය හා සෙනෙහස, මාතෘත්වය ආදි කරුණු ගෙනහැර දක්වමින් එම ගීත බිහිවීමට මුල් වූ හේතු විස්තරාත්මකව පැහැදිලි කළේය.

වැඩසටහන අතරතුරදී ජානකී ලියනගේ මහත්මිය විසින් ධම්මික බණ්ඩාර මහතාගේ දායකත්වය අගය කරමින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, හිමාලි පුස්සැල්ල මහත්මිය, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අයි.එච්.එම්.ආර්.කේ හේරත් යූඑස්පී එන්ඩීසී පිඑස්සී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එන් මහවිතාන, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.