Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th January 2023 13:09:35 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් ‘එළුවන් පාලනය’ පිළිබඳ දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් ආර්ථික දුෂ්කරතා සඳහා විකල්ප ආධාරක යාන්ත්‍රණයක් වශයෙන් ‘එළුවන් පාලනය’ පිළිබඳව යුද්ධ හමුදා පවුල්වල සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (ජනවාරි මස 23) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශාන්ති අබේසේකර මැතිණියගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මිය සහභාගි විය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණය හා විවිධ පරිත්‍යාගශීලීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායේ නිලධාරින්, සෙසුනිලයන් සහ අනෙකුත් රෙජිමේන්තු සේවා වනිතා ඒකකයන්හී අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කෙරිණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් දිංවගත රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීය. පසුගිය වර්ෂයන්හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලැබූ සුබසාධන ව්‍යාපෘතීන් සබැඳි කෙටි වීඩියෝපටයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තෝරාගත් සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්වරුන්ගේ පවුල් 17 ක් වෙත සංකේතාත්මක ගිවිසුම් පත්‍රය ලබාදෙනු ලැබීය.

වැඩසටහන සමාප්තියේ ලක්මාලි ධර්මවංශ මහත්මිය විසින් ස්තුති කථාව පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමිය විසින් දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බන්දුල බණ්ඩාර, එම බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සාමාජිකයන්, ව්‍යාපෘතියට සහයෝගය දැක්වූ අනෙකුත් රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සාමාජිකයන්, සෙසුනිලයන් සහ ප්‍රතිලාභීන් සහභාගී වූහ.