Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th February 2023 16:27:47 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සංවිධානයෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

මානූෂීය මෙහෙයුමේදී දිවිපිදූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ, තුවාල ලැබූ රණවිරුවන්ගේ, සේවයේ නියුතු රණවිරුවන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (13) දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සංවිධානයෙන් අඹේපුස්ස එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වූහ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඔමිලා ජයවර්ධන මහත්මියගේ ආරාධනයෙන් මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධනගේ උපදෙස් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එහිදී එම රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල් 595 ක පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 1365 දෙනෙකු සඳහා රු. 2,000,000.00 වටිනාකමකින් යුත් පාසල් බෑග් සහ පොත්පත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ එම රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් බෙදාදෙන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් ජානකී ලියනගේ මහත්මිය උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වා අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ලේකම් නෙත්මිණි මුතුමාල මහත්මිය විසින් පිළිගැනීමේ කථාව සිදුකරනු ලැබීය. ඉන් පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් සුරතින් සිසුන් 100 දෙනෙකු වෙත එම දිනයේදී පාසල් උපකරණ බෙදාදෙනු ලැබූහ.

උත්සව අවස්ථාව අතරතුර ජානකී ලියනගේ මහත්මිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් පවත්වාගෙන යනු ලබන ‘දිරිය පියස‘ ව්‍යාපෘති මධ්‍යස්ථානය වෙතද නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. උත්සවයේ වැඩකටයුතු අවසානයේදී එතුමිය විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබූ අතර, ඔමිලා ජයවර්ධන මහත්මිය විසින් ජානකී ලියනගේ මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් නලින්ද්‍ර මහවිතාන, එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.