Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th October 2022 21:49:16 Hours

ශ්‍රී ලංකා සංඥා බලක‍ා සේවා වනිතා ශාඛාව වෙතින් පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

ශ්‍රී ලංකා සංඥා බලක‍ා සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ පවුල්වල පාසල් සිසු සිසුවියන් 1500 දෙනෙකු වෙත රුපියල් මිලියන 4 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (8) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ළමා දිනය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව පසුගිය සඳුදා (10) දින ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේදී ආර්ථික අපහසුතා මධ්‍යයේ පාසල් අධ්‍යාපනය හදාරනු ලබන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් තිදෙනෙකු ඇතුළු සිසුන් 52 දෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ජේ.ඒ. ශෂිකා හේරත් මහත්මියගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජානකී ලියනගේ මහත්මිය ඇයගේම සොහොයුරිය වන ශ්‍රී ලංකා සංඥා බලක‍ා සේවා වනිතා ශාඛාවේ විධායක කමිටු සාමාජික ගංගා හේරත් මහත්මිය විසින් උත්සව පරිශ්‍රය වෙත කැටුව එනු ලැබීය. ගංගා හේරත් මහත්මිය යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රවී හේරත් ගේ භාර්යාව වේ.

ශ්‍රී ලංකා සංඥා බලක‍ා සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලැබූ බහුවිධ අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘති තුලින් රැස්කරගත් අරමුදල් යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ප්‍රතිලාභීන් වෙත පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කරමින් ඔවුන් වෙත සිය සුබපැතුම් ද එක්කළේය. මෙම උත්සව අවස්ථාව නර්තන අංග සහ වෙනත් සෞන්දර්යාත්මක අංග කිහිපයකින් වර්ණවත් විය.