Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th July 2023 09:44:17 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා සහ සිවිල් සාමාජිකයින්ගේ දරුවන්ට ටැබ් යන්ත්‍ර ප්‍රදානය කෙරේ

ඩිජිටල්කරණයත් සමඟ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුකරලීම සඳහා සුභසාධන ව්‍යාපෘතියක් දියත් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු තෝරාගන්නා ලද යුද්ධ හමුදා සහ සිවිල් සාමාජිකයින් 55 දෙනෙකුගේ දරුවන් සඳහා ටැබ් යන්ත්‍ර ප්‍රදානය කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින පැවැති මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයකට අනුව, හිටපු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි තනුජා ඩයස් මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ‘සමාජ සත්කාර පදනමේ’ සාමාජිකාවක් වන මල්ෂිනි පෙරේරා මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

එදින ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීම, යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කිරීම ඇතුළු සිරිත් විරිත් ඉටුකරමින් සුභසාධන ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳ ප්‍රතිලාභීන්ට දැනුවත් කරන ලදී. පසුව ‘සමාජ සත්කාර පදනමේ’ මල්ෂිනි පෙරේරා මහත්මියගේ මෑණියන් වන චායා පෙරේරා මහත්මිය විසින් ප්‍රථමයෙන් එම ටැබ් යන්ත්‍ර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වෙත සංකේතාත්මකව භාරදෙනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එක්ව මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් තනුජා ඩයස් මහත්මිය, චායා පෙරේරා මහත්මිය, මල්ෂිනි පෙරේරා මහත්මිය, තිලකා දේවප්‍රිය මහත්මිය සහ ෂෙනාලි වඩුගේ මහත්මිය වෙත ඇගයීම් සමරු තිළිණ කිහිපයක් ප්‍රදානය කරන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, තනුජා ඩයස් මහත්මිය, චායා පෙරේරා මහත්මිය, තිලකා දේවප්‍රිය මහත්මිය, ෂෙනාලි වඩුගේ මහත්මිය සහ නුජිත් සමරවික්‍රම මහතා විසින් පිළිවෙලින් එම ටැබ් යන්ත්‍ර ආරාධනා ලැබ සිටි සිසුන් වෙත ලබාදෙන ලදී. ප්‍රතිලාභියෙකු විසින් සිදුකරන ලද ස්තුති කථාවකින් අනතුරුව සියලුම ආරාධිතයින් සහ සිසුන් සමූහ ඡායාරූපයකට එක් වූහ.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.