Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th January 2023 20:31:40 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය 2023 නව වසරේ පළමු රාජකාරි දිනය ආරම්භ කරමින් සුබසාධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේ

ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය 2023 නව වසරේ පළමු රාජකාරි දිනය ආරම්භ කිරීම වෙනුවෙන් ආගමික වතාවත් මධ්‍යයේ සුබසාධන ව්‍යාපෘති මාලාවක් පසුගිය සඳුදා (02) දින යුද්ධ හමුදා සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් පවත්වමින් යුද්ධ හමුදා සේවා වනිතා එ්කකයේ සියලුම සාමාජිකයින් සහ යුද්ධ හමුදාව වෙත ආශිර්වාද එක් කළහ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය එක්ව යුද්ධ හමුදා සේවා වනිතා කාර්යාලයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය වෙත කිරි පැකට් පරිත්‍යාග කරනු ලැබීය. රුදුරු ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවෙකු සහ 8 ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සහ විදුලි රෝද පුටුවක් මිලදී ගැනීම සඳහා රුපියල් 450,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් ද මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ යුද්ධ හමුදා රෙජිමේන්තු සේවා වනිතා ශාඛා යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 55 දෙනෙකු වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ සුරතින් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ද මෙම වැඩසටහනට සමගාමීව පැවැත්විණි. එමෙන්ම, කන්දකාඩු සහ මහනුවර ප්‍රදේශවල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ යෝජිත සත්ත්ව පාලන ව්‍යාපෘතියට සහාය දැක්වීම සඳහා සියලුම සේවා වනිතා ශාඛාවන් විසින් රු. 60,000.00 ක මුදලක් පරිත්‍යාග කළ අතර ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 1.4 ක් වේ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන ව්‍යාපෘති සඳහා ආධාර වශයෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනි සමරකෝන් මහත්මිය විසින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, කර්නල් සම්බන්ධීකරණ නිලධාරි, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.