Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th May 2023 06:27:45 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවයේ නියුතු ගර්භනී කාන්තා සාමාජිකාවන් 72 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ඒකකය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඒකාබද්ධ අනුග්‍රාහකත්වය මත එම රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු ගර්භනී කාන්තා සාමාජිකාවන් 72 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත ත්‍යාග පාර්සල් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (08) දින බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ළදරුවන්ගේ රෙදිපිළි, සබන්, පුයර, ළදරු ඇඳන් සඳහා යොදන මෙට්ට, කොට්ට, ලිනන් රෙදි, විෂබීජ නාශක ද්‍රව්‍ය, ඒප්‍රන්, කිරි බෝතල් ආදියෙන් සමන්විත රුපියල් 11,500/= ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත ත්‍යාග පාර්සල් මෙහිදී පරිත්‍යාග කෙරිණි. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ගේ සංකල්පයකට අනුව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ඒකකයේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය. එම අවස්ථාවට සපැමිණි ජානකී ලියනගේ මහත්මිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උත්සව පරිශ්‍රය වෙත කැටුව යනු ලැබීය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ව්‍යාපෘතිය සබැඳිව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කෙරිණි. මෙම සුබසාධන ව්‍යාපෘතිය මගින් ගර්භනී කාන්තා යුද්ධ හමුදා සාමාජිකාවන් 72 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ඒකකයේ අධීක්‍ෂණය මත එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ ‘ඔලිව්’ නම් රූපලාවන්‍යාගාරය ද යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ සුරතින් විවෘත කෙරිණි.

උත්සවය සමාප්තියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.කේ.ආර්. ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. එතුමිය කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.