Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th March 2023 08:47:25 Hours

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් සැමරුම් උත්සවයක්

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ‘MR Media Solution Pvt Ltd’ ආයතනය සමඟ සහයෝගීතාවයෙන් යුතුව පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගිය බදාදා (මාර්තු මස 08) දින විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූවාය. ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රය වෙත සපැමිණි ජානකී ලියනගේ මහත්මිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි දනූෂා වීරසූරිය මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සම්ප්‍රදායික තෙල් පහන දැල්වීම සිදුකෙරිණි. උත්සවයේ පළමු අදියර ලෙස රූපලාවන්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥවරියක වන චාන්දනි බණ්ඩාර මහත්මිය විසින් රූපලාවන්‍ය ක්ෂේත්‍රය සබැඳිව දේශනයක් පවත්වන ලදී.

අනතුරුව, සිංගර් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ නියෝජිත නිලධාරීන් එක්ව අරපිරිමැසුම්දායක ලෙස විදුලි උපකරණ භාවිතය සම්බන්ධව දේශනයක් පවත්වන ලදී. මෙම උත්සවයේ තවත් එක් අදියරක් ලෙස සෞඛ්‍ය, මූල්‍ය කළමනාකරණය, ධනාත්මක චින්තනය සහ පෞරුෂ සංවර්ධනය වැනි මාතෘකා ඔස්සේ දේශනයන් ද සිදුකෙරිණි. පසුව, ඇඳුම් මැසීම පිළිබඳ පාඨමාලාවක් හදාරනු ලබන කාන්තා සෙබළියක් වෙත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ලොතරැයි දිනුම් ඇදීමක් ඔස්සේ ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී.

306 සී-1 සිංහ සමාජයේ කාන්තා සංසදය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත ජූකී මැෂින් 5 ක් පරිත්‍යාග කිරීම ද මෙම වැඩසටහනට සමගාමීව සිදුකෙරුණු අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය විසින් සංකේතාත්මකව එම ජුකී මැෂින් භාරගත්තාය. ඉන් අනතුරුව, ‘ජීවිතය අරන්’ සංගීත කණ්ඩායම විසින් සංගීත ප්‍රසංගයක් ද පවත්වන ලදී. සැමරුම් උත්සවය සමාප්තියේදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය විසින් 306 සී-1 සිංහ සමාජයේ කාන්තා සංසදය සහ ‘MR Media Solution Pvt Ltd’ ආයතනයෙහි ආරාධිත දේශකයින් ඇතුළු ආරාධිතයින් වෙත විශේෂ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරනු ලැබුවාය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක ලේකම්තුමිය විසින් ස්තූති කථාව පවත්වන ලදී. උත්සවය සමාප්තවීමෙන් අනතුරුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය විසින් පනාගොඩ යුද්ධ හමුදා රූපලාවන්‍යාගාරයේ සේවයේ නියුතු කාන්තා සෙබළියන් වෙනුවෙන් ඉදිකරනු ලැබ නව නේවාසිකාගාරය ඔවුන් වෙත පවරාදුන්නාය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි, සමන්ති සෙනරත් යාපා මහත්මිය, මනෝරි සැලේ මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.