Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th June 2023 17:12:44 Hours

සේවා වනිතා යෝගට් නිෂ්පාදනවල ලාභය යුද්ධ හමුදා සේවා වනිතා ඒකක අරමුදලට බැර කරයි

යුද්ධ හමුදාවේ සියලුම නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධන ව්‍යාපෘති රැසක නිරතව සිටින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික හමුව පසුගිය සඳුදා (05) දින යුද්ධ හමුදා මුලස්ථාන පරිශ්‍රයේදී යුද්ධ හමුදා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයන්හි සභාපතිවරුන්, විධායක මණ්ඩල සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති හමුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවාවනිතා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව ආරම්භ කරනු ලැබු අතර, මියගිය රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී. පසුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් සභාව ඇමතු අතර, පහත සඳහන් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව කමිටු සාමාජිකයින් තෝරා ගන්නා ලදී.

ලේකම් - චාමා වනසිංහ මහත්මිය

උප ලේකම් - කුමුදු මානගේ මහත්මිය

මහජන සම්බන්ධීකරණ නිලධාරී - දීපරේඛා රණසිංහ මහත්මිය

නියෝජ්‍ය මහජන සම්බන්ධීකරණ නිලධාරි - හිමාලි පුස්සැල්ල මහත්මිය

සමස්ත ව්‍යාපෘති අධීක්ෂණ නිලධාරි - ශාන්ති අබේසේකර මහත්මිය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක ලේකම් මේජර් එච්. වන්නිආරච්චි විසින් පසුගිය සභා රැස්වීමේ වාර්තා කියවන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ භාණ්ඩාගාරික මේජර් පී. කුමාරි විසින් විගණන වාර්තාව සභාවට ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව, පසුගිය වසරේ ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව විස්තර කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් සියලු ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඇති බවත් යුද්ධ හමුදාවේ අවශ්‍යතාවයන් සඳහා එක හා සමානව කැපවීමෙන් යුතුව ඉදිරි ව්‍යාපෘතීන් ද සිදුකළ යුතු බව සිහිපත් කළාය.

එහිදි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් ඉදිකරමින් පවතින නිවසක් සඳහා රුපියල් 450,000/= ක පරිත්‍යාගයක් සිදු කරන ලදී. තවද, දැනට පාසල් අධ්‍යාපනය ලබන මියගිය සෙබළුන්ගේ දරුවන් 03 දෙනෙකු සඳහා රුපියල් 120,000/= බැගින් ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ යෝගට් නිෂ්පාදනවල ලාභය ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අරමුදලට බැර කරන ලදී. මීට අමතරව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි තුෂාරි වනිගසේකර මැතිණිය සහ හමුදා බුද්ධි බළකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රාජිතා ජයසූරිය මැතිනිය ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අරමුදලට මුල්‍ය පරිත්‍යාගයන් සිදු කරන ලදී.