Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st July 2023 20:49:24 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් විවිධ දුෂ්කරතා මධ්‍යෙය් දිවිගෙවන පවුලක් වෙත නව නිවසක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උපන් මාතලේ ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද නව නිවස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් බදාදා (ජූලි මස 19) දින පැවති උත්සවයකදී එම පවුලේ සාමාජිකයන් වෙත පවරා දෙන ලදී.

මාතලේ විජය විද්‍යාලයේ විදුහල්පති රාජිත තීක්‍ෂණ මහතා දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ ජිවත් වූ එම පවුල වෙත නිවසක් ඉදිකර දෙන ලෙස එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියාවේ පදිංචි දානපතිනියක වන කාංචනා ඉලංගසිංහ මහත්මිය විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 12.5 මුදලක් සහ සහ රු. 50,000. 00 වටිනා ගෘහ භාණ්ඩ නිවාසලාභී පවුල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

සිථිර රැකියාවක් නොමැති කටුදෙණිය, වාරියපොල නව ජනපදයේ කුඩා නිවසක පදිංචිව සිටින ඩී.ඒ සරත් කුමාර මහතාගේ දියණියන් දෙදෙනා සහ පුතුන් දෙදෙනා මාතලේ විජය විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, ඔවුන්ද නොයෙකුත් රැකියාවල නිරත වෙමින් විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරනු ලබයි.

නව නිවසේ ඉදිකිරීම් කටයුතු 532 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සති කිහිපයක් ඇතුළත නිමකරනු ලැබු නව නිවස, නිවාසලාභීන් වෙත පවරා දීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් ජානකී ලියනගේ මැතිණිය සහ පරිත්‍යාගශීලීන් නියෝජනය කරමින් චිත්‍රා ඉලංගසිංහ මහත්මිය ද සහභාගී වූහ. එහිදී ආගමික වතාවත් හා චාරිත්‍ර මධ්‍යයේ නව නිවස නිවාස ලාභීන් වෙත පවරා දෙන ලදී.

මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව නිවසේ සමරු ඵලකය නිරාවරණය කර, නිවසේ යතුර ප්‍රතිලාභී පවුල වෙත ප්‍රදානය කරන ලදී. ජානකී ලියනගේ මහත්මිය සහ චිත්‍රා ඉලංගසිංහ මහත්මිය විසින් එහිදී නිවාස ලාභී පවුල වෙත ගෘහ භාණ්ඩ සහ ගෘහ උපකරණද ප්‍රදානය කරනු ලැබීය.

අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එම අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිලිගනු ලැබීය. උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, චිත්‍රා ඉලංගසිංහ මහත්මිය, නිවාස ලාභී පවුලේ සාමාජිකයින්, ඥාතීන් සහ ඉදිකිරීමේ කටයුතු සඳහා දායක වූ භටපිරිස් සහභාගී වූහ.