Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd February 2023 07:47:04 Hours

‘ගජබා විරුසවිය’ ශිෂ්‍යත්ව වැඩසටහන සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වයි

සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව එක්ව එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු, විශ්‍රාමික, මියගිය රණවිරුවන් සහ සිවිල් සේවක මහතුන්ගේ තෝරාගත් දරුවන් 162 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (ජනවාරි 21) දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සහ ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ.

සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් පසු උත්සවය ආරම්භ වූ අතර, අනතුරුව යුද්ධයේදී දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් රැස්ව සිටි පිරිස ඇමතූහ. මෙම උත්සවය අතරතුර යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සෞන්දර්යාත්මක අංගයන් තුලින් උත්සවය තවත් අලංකාරවත් කළේය.

උත්සවයේදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් 102 දෙනෙකු, උසස් පෙළ සමත් සිසු සිසුවියන් 36 දෙනෙකු, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් 11 දෙනෙකු සහ විශේෂයෙන් තෝරාගත් ආබාධිත දරුවන් 13 දෙනෙකු සඳහා ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ වලට අමතරව මූල්‍යමය ආධාරද පිරිනැමීය.

මෙම අවස්ථාවට පැමිණ සිටි සිසුවෙකු මෙම වැඩසටහන සම්බන්ධයෙන් ස්තුතිය ප්‍රකාශ කර සිය කෘතවේදීත්වය පළ කළේය.

උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.