Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd June 2023 13:02:06 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් යුද්ධ හමුදා පවුල්වල දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව සහ යුද්ධ හමුදා සාමාජිකයන් හා සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි මස 25) දින ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම උත්සවයට සමගාමීව රොක් හවුස් යුද්ධ හමුදා කඳවුරේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ මවක් වෙනුවෙන් රෝද පුටුවක් ද පරිත්‍යාග කෙරිණි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි (වෛද්‍ය) හර්ෂිණී බෝතොට මහත්මියගේ ආරාධනයකට අනුව සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟ එක්ව පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම, ස්වයං රැකියා අවස්ථා උදාකිරීම සහ රණවිරුවන්ගේ හා ඔවුන්ගේ කාලත්‍රයන්ගේ සුභසාධන කාර්යභාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම උත්සවය අතරතුරදී, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් රුපියල් 36,000/= බැගින් වූ ශිෂ්‍යත්ව 20 ක්, එම රණවිරුවන්ගේ භාර්යාවන් වෙනුවෙන් ස්වයං රැකියා අවස්ථා උදාකරදීම වෙනුවෙන් රුපියල් 60,000/= බැගින් වූ මුල්‍ය ආධාර හතරක්, එම බලකා සාමාජිකයෙකුගේ නිවසක ආරක්‍ෂාව සඳහා කොන්ක්‍රීට් තාප්පයක් ඉදිකිරීමට රුපියල් 200,000/= ක මූල්‍ය පරිත්‍යාගයක් සහ සිවිල් සේවක මහතෙකුගේ නිවසේ වහලයේ අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් 75,000/= ක මූල්‍ය පරිත්‍යාගයක් ද ලබාදුන්හ.

මෙම පරිත්‍යාග උත්සවයේදී, යුද්ධ හමුදා නර්තන කණ්ඩායම වර්ණවත් නර්තන අංගයන් ඉදිරිපත් කරනු ලැබූ අතර උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්, එම බලකා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන් සහභාගී වූහ.