Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd February 2023 07:47:01 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි පල්ලෙකැලේ ‘විරු කැකුළු’ පෙර පාසලේ නිරීක්‍ෂණ සංචාරයක

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පාලනය කරනු ලබන පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙහි අධ්‍යාපන සහ පරිපාලන කටයුතුවල ප්‍රගතිය සොයාබැලීම සඳහා එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා තුෂාරා අළුවිහාරේ මහත්මියගේ ඉල්ලීම පරිදි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය පසුගිය අඟහරුවාදා (21) දින සංචාරයක නිරත විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජානකී ලියනගේ මැතිණිය, තුෂාරා අළුවිහාරේ මහත්මිය සහ ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් දෙදෙනකු විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, එහිදී එතුමිය විසින් පෙර පාසලේ තවදුරටත් වැඩිදියුණු කල යුතු අංශයන් පිළිබඳව කාර්යය මණ්ඩලය සමගින් සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී. අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සමඟින් ජානකී ලියනගේ මැතිණිය දරු දැරියන් වෙත පළතුරු බීම පැකට් බෙදා දුන් අතර, කාර්යය මණ්ඩලය සමගින් තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් විය.

මේ වන විට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සහ යුද්ධ හමුදා සාමාජිකයන් නොවන පවුල්වල දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා දිවයින පුරා පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.

මෙම සංචාරය අතරතුර ජානකී ලියනගේ මැතිණිය එම අවස්ථාවට පැමිණ සිටි පිරිස සමගින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය. අනතුරුව එතුමිය පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා මුලික රෝහල් පරිශ්‍රය අසල ඇති යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ආපනශාලාව පිහිටි නව ගොඩනැගිල්ල නිරීක්‍ෂණය කිරීමේ සංචාරයකටද එක් වූවාය.

මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.