Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th June 2023 10:35:40 Hours

ඉපලෝගම ‘විරු කැකුළු‘ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල උත්සවශ්‍රියෙන් පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන ඉපලෝගම ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය සඳුදා (ජූනි මස 26) දින එම පෙරපාසල් ක්‍රීඩාපිටියේදී ‘Fruit Party’ තේමාව ඔස්සේ පැවැත්විණි. උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සාමාජිකාවන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

දරු දැරියන්, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ක්‍රීඩා උළෙලේදී කුඩා දරුවන් වෙනුවෙන් පෙර පාසල් කළමණාකාරිත්වය විශේෂ ක්‍රීඩා ඉසව් රැසක් සංවිධානය කර තිබිණි.

උත්සවය සමාප්තියේ ජානකී ලියනගේ මහත්මිය විසින් කුඩා දරුවන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව දරු දැරියන් සහ දෙමාපියන් සමඟින් තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් ඔවුන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරතවිය. එහිදී එතුමිය වෙත විශේෂ ත්‍යාගයක් ද පිරිනැමූ අතර, පෙර පාසල් පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ජානකි ලියනගේ මහත්මිය විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ඉපලෝගම ‘විරු කැකුළු’ පෙරපාසල් කළමණාකාර දීපරේකා රණසිංහ මහත්මිය, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සෙසුනිලයන් සහ දෙමාපියන් ද සහභාගී වූහ.