Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st July 2023 22:17:37 Hours

මින්නේරිය ‘විරු කැකුළු‘ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් කරනු ලබන මින්නේරිය ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය සිකුරාදා (ජූනි මස 30) දින මින්නේරිය ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටි ජෙනරල් ලයනල් බලගල්ල ක‍්‍රීඩාංගණයේදී ‘Jungle’ තේමාව ඔස්සේ පැවැත්විණි.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී විය. එහිදී දරු දැරියන්, එතුමිය උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පෙර පාසල් කළමනාකාරිත්වය විසින් සංවිධානය කරන ලද මෙම ක්‍රීඩා උළෙලේදී කුඩා දරුවන්, විනෝදාත්මක අංගයන්, තූර්ය වාදන, සරඹ සංදර්ශන ආදි විවිධි අංගයන් සහ ළමා ක්‍රීඩා සඳහා සහභාගී වී සිය දක්‍ෂතා එළි‍දැක්වූ අතර, එම දරුවන්ගේ දෙමාපියන් සහ පෙර පාසල් කාර්යය මණ්ඩලය වෙනුවෙන්ද විශේෂ ක්‍රීඩා ඉසව් කීහිපයක් පැවැත්විණි.

උත්සවය සමාප්තියේදී ජානකී ලියනගේ මහත්මිය ගේ සුරතින් කුඩා ළමුන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කරනු ලැබූ අතර, අනතුරුව පැවති තේ පැන් සංග්‍රහය සඳහාද එක්වෙමින් එම දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගත්හ. මෙම අවස්ථාව සඳහා සහභාගී වීම නිමිත්තෙන් එතුමිය වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.

ජානකී ලියනගේ මහත්මිය විසින් ක්‍රීඩා උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා සහයෝගය දැක්වූ සිවිල් කාර්යය මණ්ඩලය වෙතද වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දීමද සිදු කරන ලද අතර, කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී, රුවීනා මෙත්තානන්ද මහත්මිය, මින්නේරිය විරු කැකුළු පෙර පාසලේ කළමනාකාරිත්ව දරන යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් , යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සෙසු නිලයින් සහ දෙමාපියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.