Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st March 2023 23:38:20 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සුභසාධන කාර්යභාරය පුළුල් කරමින් යුද්ධ හමුදා දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන කටයුතු පුළුල් කරමින් මියගිය වීරෝදාර රණවිරුවන්ගේ දරුවන්, සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් සහ යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සිවිල් කාර්ය මණ්ඩලයේ දරුවන් සඳහා ලංකා බැංකුව සමඟ එක්ව ශිෂ්‍යත්ව 140 ක් පිරිනැමීම බදාදා (මාර්තු 1) යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති ජානකී ලියනගේ මැතිණියගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේය. මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයින් ලෙස බස්නාහිර පළාත් ලංකා බැංකු සහකාර සාමාන්‍යාධිකාරී රුචින්ද්‍රා පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු, ලංකා බැංකුව, කොළඹ-උතුර මිතිලා දිල්හානි මහත්මිය, කළමනාකරු, ලංකා බැංකුව, ලේක්හවුස් ශාඛාව උදිත පෙරේරා මහතා ඇතුලු ලංකා බැංකුවේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

දිනයේ උත්සවය සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ තේමා ගීතය ගායනා කර යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා වැඩසටහන ආරම්භ කරන ලදී. අනතුරුව යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ අඛණ්ඩ සුභසාධන ව්‍යාපෘතීන් අළලා සකස්කරනු ලැබු වීඩියෝ පටය ප්‍රදර්ශය කරන ලදී.

එහිදි 2021 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් 30 දෙනෙකුට රුපියල් 15,000.00 බැගින් වූ බැංකු තැන්පතු සහ රුපියල් 7,000.00 වටිනාකමකින් යුත් පාසල් උපකරණ පරිත්‍යාග කළ අතර එම සිසුන්ට දිරි දීමනාවක් ලෙස ලංකා බැංකුවෙන් රුපියල් 2,000.00 ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

මීට අමතරව 2021 වසරේදී අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත් සිසුන් 71 දෙනෙකුට රුපියල් 20,000.00 බැගින් වූ බැංකු තැන්පතුවක් සහ රුපියල් 7,500.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ රුපියල් 2,000.00 ක බැංකු තැන්පතුවක් පරිත්‍යාග කරන ලදී.

එසේම 2021 වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් 39 දෙනෙකු සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් රුපියල් 25,000.00 බැංකු තැන්පතුවක් සහ රු 3,000.00 ක වටිනාකමකින් යුත් ලිපිද්‍රව්‍යය සහ ලංකා බැංකුව වෙතින් රුපියල් 2,000.00 ක බැංකු තැන්පතුව බැගින් ප්‍රදානය කරන ලදී.

ත්‍යාග ප්‍රදානෝත්සවය අවසානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. තවද යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් ලංකා බැංකුව දක්වනු ලැබු සහයෝගය අගය කරමින් ලංකා බැංකුව, ලේක්හවුස් ශාඛාවේ කළමනාකාරතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

එම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සභාව අමතමින් ප්‍රතිලාභීන්ට තම සුබ පැතුම් එක් කළ අතර හොඳින් ඉගෙන ගෙන අනාගතයේ රටේ දේශප්‍රේමී පුරවැසියන් බවට පත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

තමන් වෙත දක්වනු ලැබු දිරිගැන්වීම් අගය කරමින් ප්‍රතිලාභියෙක් විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත සිය කෘතඥතාව පළ කළේය. ඉන් අනතුරු යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රතිලාභීන් සහ ආරාධිතයන් සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින්, තේපැන් සංග්‍රහයක් සඳහා සහභාගී විය. පසුව යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාව සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනිසිටියහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන්, සෙසුනිලයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.