Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

‘බ්රේව් හාර්ට්ස්’ ව්‍යාපෘතිය


බ්රේව් හාර්ට්ස්’ (BRAVE Hearts) ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබූයේ එවකට ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් හා හිටපු ආරක්‍ෂක ලේකම්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාවේ තුවාල ලැබූ රණවිරුවන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ රැකබලා ගැනීමේ උදාර අරමුණ පෙරදැරි කරගෙනය.

මෙම උදාර සංකල්පය 2009 සැප්තැම්බර් මස 17 දින යථාර්ථයක් බවට පත් වූයේ අනුරාධපුරයේ ‘නුවරවැව’ ඉවුරට යාබද අක්කර 5 ක භූමි භාගයක මංගල පස් පිඩැල්ල කපා ඉදිකිරීමට යෝජිත නවීනතම සුවතා නිකේතනය වෙනුවෙන් මුල්ගල ප්‍රතිශ්ඨාපනය කිරීමත් සමඟිනි.

ඒ අනුව 'අභිමංසල - 1' ලෙස නම් කර ඇති මෙම නවීනතම සුවතා නිකේතනය මව්බිම වෙනුවෙන් සටන් වැද ආබාධිත වූ රණවිරුවන්ගේ සියලුම වෛද්‍ය අවශ්‍යතාවලින් සමන්විත විය. ඒ අනුව 2011 ජූලි 26 දින පවත්වන ලද විශේෂ උත්සවයකදී ඔවුන්ට ජාතියේ කෘතවේදීත්වය පුදකරන ලද්දේ අපගේ ‘අද’ වෙනුවෙන් ඔවුන්ගේ ‘හෙට’ කැපකළ වීරෝධාර රණවිරුවන් ලෙස උත්තමාචාරය පුදකරමිනි.

අභිමංසල - 1’, සුවතා මධ්‍යස්ථානය එම අභීත රණවිරුවන්ගේ දෙවන නිවහන වශයෙන් සැලකෙන අතර, එම සුවතා මධ්‍යස්ථානය විවිධ හැකියාවන් වලින් සමන්විත ආබාධිත රණවිරුවන් 52 දෙදෙනෙකු වෙනුවෙන් නේවාසික පහසුකම් සපයනු ලබයි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මෙම ජාතික වගකීම සිය කරමතට ගනිමින් පෙරමුණගෙන කටයුතු කළ අතර, ඒ අනුව වර්ෂ 2012 නොවැම්බර් මස 10 දින මාතර කඹුරුපිටියේ ‘අභිමංසල - II’ ඉදිකරමින් රණක්‍ෂිතයට පත් තවත් වීරෝධාර රණවිරුවන් 48 දෙනෙකුට සිය දිවියේ සැදෑ සමය සුවසේ ගතකිරීමට නවීන පහසුකම්වලින් සමන්විත සුවතා නිකේතනයක් ලබාදී තිබිණි.

තවද, මෙයට අමතරව ‘බ්රේව් හාර්ට්ස්’ (Brave Hearts) ව්‍යාපෘතිය යටතේ තවත් පියවරක් තබමින්, එනම් වර්ෂ 2014 අප්‍රේල් මස 25 දින ඉබ්බාගමුව, පාන්ගොල්ලේ ‘අභිමංසල - III’ ඉදිකරමින් යුද්ධයේ උච්චතම අවස්ථාවේදී රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදාවේ තවත් අභීත සෙබළුන් 52 දෙනෙකුට පිළිසරණ සැපයීමට මූලිකත්වය ගෙන තිබිණි.

මෙයට අමතරව ‘බ්රේව් හාර්ට්ස්’ (Brave Hearts) ව්‍යාපෘතිය තුළින් එම රණවිරුවන්ගේ පවුල් සඳහා නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් තුළින් ත්‍රස්තවාදයෙන් රට ආරක්‍ෂා කළ රණවිරුවන්ට ද නව නිවාස ලබාදීමේ ප්‍රමුඛයා බවටද පත්විය.