Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

ඉතිහාසය


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ආර්යා එලීනා ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා ඒකකය පිහිටුවන ලදී. සෑම රාජ්‍ය ආයතනයකම සේවය කරන කාන්තාවන් විසින් සේවා වනිතා නමින් ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවීමේ වැදගත්කම එමගින් පෙන්වා දෙන ලදී.

සේවා වනිතා ශාඛාවේ ආරම්භයත් සමඟම එවකට ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරල් ටී අයි වීරතුංග විඑස්වී ආර්සීඩීඑස් එන්ඩීසී ගේ උපදෙස් මත වර්ෂ 1984 ජූලි 12 වැනි දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ආරම්භ කරන ලද අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පළමු සභාපතිනිය ලෙස සෝනියා වීරතුංග මහත්මිය වර්ෂ 1984 ජූලි 12 දින සිට වර්ෂ 1985 පෙබරවාරි 11 දින දක්වා කටයුතු කරන ලදී.

යුද්ධයේදී දිවිපිදූ මියගිය/ආබාධිත වූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා සඳහා ඉඩම් ලබාදීම, නිවාස ඉදිකිරදීම, ඉදිවෙමින් පවතින නිවාස සම්පූර්ණ කිරීම, ගෘහ භාණ්ඩ ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආබාධිත සෙබළුන්ට වෘත්තීය පුහුණුව ලබාදීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම, යුද්ධ හමුදා පවුල්වල සාමාජිකයින්ට සහ දරුවන්ට සහන මිලට භාණ්ඩ මිලදී ගැනීම සඳහා අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් වැසියන්ගේ දරුවන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් පවත්වාගෙන යාම, යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔනුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූල්‍ය ආධාර සැපයීම, ජාතික හා ආගමික වශයෙන් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින් සඳහා සහාය වීම, යුද්ධයේදී දිවිපිදූ, අතුරුදහන් වූ සහ තුවාල ලැබූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ගේ සුබසාධන ක්‍රියාමාර්ග නඟා සිටුවීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය, යුද්ධ හමුදා පවුල්වල සාමාජිකයින්ගේ සහ දරුවන්ගේ සුභසාධනය සඳහා දියත් කරන ලද උපයෝගිතා ව්‍යාපෘති සඳහා තාක්ෂණික දැනුම සහ අනෙකුත් වෙළඳාම් වැඩිදියුණු කිරීම මගින් මූල්‍ය ආධාර ලබා දීම සහ රූපලාවන්‍ය පහසුකම් සැපයීම ආදී පහසුකම් ලබාදීම අරමුණු කරගනිමින් මෙම ශාඛාව පිහිටුවන ලදී.

ඉහත අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සක්‍රීය සේවයේ යෙදී සිටින රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නංවාලීමට වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, රණවිරු පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සහ ජාතික ව්‍යසනවලින් පීඩාවට පත් වූ හමුදා සාමාජිකයින් සඳහා ආධාර පිරිනැමීම වැනි අරමුණු ද ඇතුලත් වෙයි.

1998 දෙසැම්බර් මස 17 වන දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස ධුරයේ රාජකාරි භාරගත් දිල්හානි වීරසූරිය මහත්මියගේ ධූර කාලයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවා වනිතා රෙජිමේන්තු ශාඛා රෙජිමේන්තු කාන්තා සමාජ නමින් ස්ථාපිත කර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයන්ට අනුබද්ධ කරන ලදී. අදාළ රෙජිමේන්තු අධිපතිවරුන්ගේ සහ රෙජිමේන්තු කර්නල් සේනාවිධායකවරුන් භාර්යාවන් රෙජිමේන්තු කාන්තා සමාජවල සභාපතිනියන් බවට පත් විය. වර්ෂ 2006 දී සෑම රෙජිමේන්තු කාන්තා සමාජයක්ම අදාළ රෙජිමේන්තුවේ නම යොදා ගනිමින් යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාව ලෙස නම් කරන ලදී.