Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

සේවා වනිතා සභාපතිනිය


ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසු 2022 ජුනි මස 03 වන දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 16 වන සභාපතිනිය ලෙස ජානකී ලියනගේ මැතිණිය වැඩ භාර ගනු ලැබුවාය.

ජානකී ලියනගේ මැතිණිය ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ලෙසද කටයුතු කරනු ලබයි. යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති උත්සව අවස්ථාවකදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස රාජකාරි කටයුතු භාර ගත් අතර, මෙයට පෙර එතුමිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය ලෙස ද කටයුතු කර තිබිණි.

මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකර ගෙන ඇත.

ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස ඇය යුද්ධ හමුදා සාමාජිකයන්ගේ, ආබාධිත රණවිරුවන්ගේ සහ එම පවුල් වල සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා උපරිම කැපවීමෙන් සේවය කළාය. තවද, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ සියලුම සේවා වනිතා සාමාජිකයින් ඒකරාශී කර ගනිමින් පොදු අරමුණු සහ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරමින් සේවා වනිතා භූමිකාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට ද ඇය සක්‍රීයව දායක වූවාය.

ජානකී ලියනගේ මැතිණිය
සේවා වනිතා ඒකකයේ සභාපතිනිය

එමෙන්ම යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද උපදේශන සැසිවාරයන්හිදී ඇය විසින් ලබාදුන් උපදේශණයන් එම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහ ඥාතීන්ගේ දුක්ගැනවිලි සහ ගැටළු නිරාකරණය කරගැනීමට උපකාරී වූ අතර, වැන්දඹුවන්ගේ මෙන්ම ආබාධිත ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේද ඔවුන්ගේ අවශ්‍යතාවයන් හා අභිලාෂයන් ඉටුකර ගැනීම වෙනුවෙන් ඇය සුවිශේෂී උනන්දුවකින් කටයුතු කළාය. තම ස්වාමිපුරුෂයා ජාතික මෙහෙවරයන් වෙනුවෙන් බැහැරව සිටින විට ඇය ගෘහණියකගේ බහුවිධ භූමිකාවන් සහ වගකීම් ස්ථාවරව පවත්වාගෙන යනු ලැබුවාය. ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනිය ලෙස එම ඒකක වල යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සියලුම කාන්තාවන් අතර අද්විතීය කණ්ඩායම් හැඟීමක් ඇති කිරීමට මෙම නව ප්‍රවේශය සමත්ව තිබේ.

ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ඒකකයන්හි පසුගිය වසර කිහිපය තුළ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස සම්පූර්ණ කිරීම, ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, මූල්‍ය ප්‍රදානය කිරීම, වෛද්‍ය ආධාර ආදිය සඳහා හැකි උපරිම සහයෝගය ලබා දීමට ද පෙරමුණ ගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ පුණ්‍ය කටයුතු සහ ප්‍රජා සත්කාර බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්ව ඇත. සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කැපවීමෙන් සිය සේවාවන් ලබාදීම ඇයගේ අභිලාෂයයි.