Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

05th August 2025 23:03:19 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම - 2025

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම 2025 ජූලි 19 වන දින බොරැල්ලේ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්එච්කේඑස් ශාන්ත හේවගේ ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, යූඑස්පී, පීඑස්සී, ආර්සීඩීඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි සචේතා හේවගේ මහත්මියගේ ගෞරවනීය මූලිකත්වය මත මෙම අවස්ථාව සදහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සාමාජිකාවන් රැසක් සහභාගී විය.

වැඩසටහන් පෙළගැස්මට අනුව පොල්තෙල් පහන දල්වා ආශිර්වාද එක් කොට යුද්ධ හමුදා සේවා වනිතා ගීතය සියළුම සේවා වනිතා සාමාජිකාවන් එකතු වී ගායනා කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සුරකමින් දේශයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කරන ලද රණවිරුවන් සිහි කරන ලදි. ඉන් අනතුරුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සේවා වනිතා ශාඛාවේ ව්‍යවස්ථාව අනුව 2025 වර්ෂය සඳහා වූ නව විධායක නිලධාරී මණ්ඩලය පත් කර ගන්නා ලදි. අනතුරුව පෙර වසරේ සුභසාධන මුලපිරීම් පිළිබඳ පසු විපරම් සමාලෝචනයක් හා ඉදිරි සුභසාධන සැලසුම් පිළිබඳ සාකච්ඡා සහ සාමාජිකයින්ගේ යෝජනා සහ සහයෝගී අදහස් බෙදා ගැනීම දිරිමත් වන පරිදි විවෘත සංවාදයක් ඇතුළත් විය.

තවද, සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය විසින් සක්‍රීය සේවයේ නියුතු සෙබළියකගේ ආබාධිත පියෙකු වෙත වෛද්‍යාධාර ප්‍රධානයක් ලෙස රෝද පුටුවක් ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී.

වාර්ෂික මහා සභා රැස්වීමේ පළමු සැසියේදී අවසානයේ සහතිකලත් මනෝඋපදේශකවරියක් වන ආචාර්ය ඉඳුමිණි බණ්ඩාර විසින් පුද්ගලික සංවර්ධන කළමනාකරණය පිළිබඳ පුළුල් දේශනයක් පැවැත් විය. එහිදී ඇයගේ දේශනය මානසික සංවර්ධනය, පුද්ගලික සනීපාරක්ෂාව සහ පුද්ගලික සත්කාරය ලෙස කොටස් තුනක් යටතේ වටිනා අවබෝධයක් ලබා දෙන ලදී. එම වැඩමුළුව සදහා චන්දනාලේප සමාගම විසින් අනුග්‍රාහක දායකත්වය ලබා දෙන ලදී. ආශ්වාදජනක දිනයක අවසානය සනිටුහන් කරමින්, දිවා ආහාරය සමඟින් විචිත්‍රවත් විනෝදාස්වාද DJ අංගයක් පවත්වමින් වාර්ෂික මහා සභා රැස්වීම් කටයුතු අවසන් විය.