Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

05th January 2023 14:47:46 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2022 දෙසැම්බර් මස 01 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 14 වන රෙජිමේන්තු අධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. පසුව එතුමන් 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්එම්යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී සහ 66 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්ජේ ප්‍රියදර්ශන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් පිළිගැනීමෙන් අනතුරුව නව ධූරයේ රාජකාරී භාරගැනීමේ උත්සවය ආරම්භ කරන ලදී. එම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල බලසේනාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් බීපීජීකේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගි වූහ.

මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී දේශය වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහි කරමින් ඔවුන් වෙත ගෞරවාචාර දක්වන ලදී. අනතුරුව එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරන ලද අතර එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය.

මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් බෞද්ධ ආගමික වති වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගැනිමෙන් පසු රෙජිමේන්තුවේ නිලධාරීන් අමතන ලදි. ඉන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් පසු එදිනට නියමිත වැඩසටහන නිමාවට පත්විය.