Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

13th February 2023 10:37:05 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 16 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 16 වන අභිමානවත් සංවත්සරය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් මත 2023.02.11 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී එතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. සංවත්සර දින උත්සවය ආරම්භ කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විය.

අනතුරුව, එතුමන් වෙත රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල අලංකාරවත් වූ පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබූ අතර, සංවත්සර දින සැමරුම සනිටුහන් කරමින් එතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින් සමගින් සමූහ ඡායාරූපයකට ද එක් වූ එතුමන් ඉන් අනතුරුව රෙජිමේන්තු මණ්ත්‍රණ සභාව පැවැත්වූ අතර එය අවසානයේ පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා ද සහභාගී විය.

සංවත්සර දින උත්සවය වෙනුවෙන් එදින මහා සංඝරත්නය විසින් සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූ අතර, පසුදින උන් වහන්සේලා වෙත හීල් දානය පිරිනමනු ලැබීය. 2023.02.12 වන දින මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සහභාගීත්වයෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.

සංවත්සර දින උත්සව අවස්ථාවන් සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීපීජීකේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී , රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, සියලුම ඒකක අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.