Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

නොහැක්කක් නොමැත

26th February 2026 17:31:56 Hours

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය විශිෂ්ඨ ලෙස සමත් දූ දරුවන් සඳහා පැවැත්වූ ලැප්ටොප් පරිඝණක පරිත්‍යාග කිරීමේ වැඩසටහන.

කමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයන්ගේ පවුල්වල 2024 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් දූ දරුවන්ගේ අධ්‍යාපනික විශිෂ්ඨත්වය අගය කිරීම සඳහා සංවිධානය කරන ලද ලැප්ටොප් පරිඝණක පරිත්‍යාග කිරීමේ වැඩසටහන 2026 පෙබරවාරි 12 දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මෙරූන් ලෙගසි ශාලාවේදී පැවැත්විණි.

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන තුලින් සිසුන් 11 දෙනෙකුගේ විශිෂ්ට අධ්‍යාපනික ජයග්‍රහණ අගය කරන ලද අතර, රෙජිමේන්තු සාමාජිකයන්ගේ පවුල්වල සුභසාධනය සහ අධ්‍යාපනික දියුණුව සඳහා රෙජිමේන්තුව විසින් ලබාදෙන අඛණ්ඩ සහයෝගය තවදුරටත් තහවුරු කරන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස UTS College Sri Lanka හි ප්‍රධානී ඇලිසන් හිස්කොක්ස් මහත්මිය සහභාගී වූ අතර, මෙම ලැප්ටොප් පරිඝණක පරිත්‍යාගය UTS College Sri Lanka හි ප්‍රධානී සහ කළමනාකරණ මණ්ඩලයේ අනුග්‍රහයෙන් සිදු කරන ලදී. මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය, ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) හි නියෝජ්‍ය ආඥාපති මේජර් ජෙනරාල් එච් ඩී එල් එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, කමාන්ඩෝ බළසේනාවේ බළසේනාධිපති හා ගෞරවනීය අමුත්තන් රැසක් සහභාගී විය. එමෙන්ම දූ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද උත්සවයට සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී 2024 අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් දූ දරුවන් 11 දෙනෙකු හට ඔවුන්ගේ අධ්‍යාපනික දක්ෂතා අගය කරමින් පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී. එමෙන්ම ඔවුන්ගේ උසස් අධ්‍යාපනික කටයුතු සහ අනාගත අපේක්ෂා සාර්ථක කර ගැනීම සඳහා ලැප්ටොප් පරිඝණකද පිරිනැමිණි. සිසුන්ට අමතරව, කමාන්ඩෝ රෙජිමේන්තු ඒකක අණදෙන නිලධාරීන්, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් අණදෙන නිලධාරි, රෙජිමේන්තු මූලස්ථාන ඛණ්ඩ නිලධාරි අණදෙන, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරී වෙතද ලැප්ටොප් පරිඝණක ප්‍රදානය කරන ලදී.