Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

කල නොහැක්කක් නොමැත

28th November 2022 23:03:43 Hours

කමාන්ඩෝ පවුලට එක් වු නවක කමාන්ඩෝ රණවරුවන් හට මෙරූන් හිස්වැස්ම ප්‍රදානය

කායික හා මානසික දැඩිභාවය පෙරදැරිකර ගනිමින් කමාන්ඩෝ පාඨමාලා අංක 50 සාර්ථක ලෙස හදාරන ලද නිලධාරින් 06 ක් සෙසුනිළයින් 366 දෙනෙක් කමාන්ඩෝවරුන් ලෙස මෙරූන් හිස්වැස්ම පැළද විසිරයාමේ උත්සවය 2022 නොවැම්බර් මස 26 වන දින ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් සරඹ භූමියේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් HMLV ලියනගේ RWP RSP ndu ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී වන ලදි.

පුරා මාස 18 ක් වැනි දීර්ඝ කාලයක් පුරාවට දැඩි අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් යුතුව අති දුෂ්කර වු විශේෂිත පුහුණුවක් ලැබු විසිරයන ලද නවක කමාන්ඩෝ සෙබළුන් විවිධ දේශගුණික තත්වයන් හා විවිධ භූමි ප්‍රදේශයන් ඔස්සේ පුහුණුව ලබමින් ගුවන ආශ්‍රිතව හා ජලාශ්‍රිත පුහුණුවීම් මෙන්ම නොනැසී ජීවත්වීම, අසම්මත යුද උපක්‍රම භාවිතා කරමින් අනෙකුත් සෙබළුන් හට ළඟා විය නොහැකි දැඩි අවධානම් සහිත වු සතුරු ඉලක්කපත් වෙත ළගාවීම වැනි උපක්‍රමික පුහුණුවීම් ලබා මෙම විශිෂ්ඨ ඒකකය වෙත එක් වු වෘත්තීයමය වශයෙන් විශිෂ්ඨයෝ වෙති.

කමාන්ඩෝ පවුලට එක් වු මෙම විශිෂ්ඨයන් හට නිළ ලාංඡන පැළවීමට ඔවුන්ගේ දෙමව්පියන්ට භාග්‍ය හිමි වු අතර, නෙතට සතුටු කදුළු එක් කරමින් දැයේ වීර මාතාවට දායාද කළ මෙම කමාන්ඩෝවරුන්ගේ දෙමව්පියන් සැබවින්ම වීර මාතාවන් හා පියවරුන්ය. මේ අවස්ථාවේදි යුද්ධ හමුදාපති තුමාගේ ගෞරව ස්තූතිය මෙම දෙමව්පියන් වෙත පිරිනැමු අතර, විශේෂයෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති වශයෙන් කටයුතු කරන මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥාණරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් හට ද විශේෂ ස්තූතිය පුදකරන ලදී.

මෙරූන් හිස්වැස්ම පැළදී රණවිරුවා එම රටේ විශේෂ හමුදාවන්ට අයත් සාමාජිකයෙකු බවත් ඔහු විසින් රටේ උත්තරීතර නීතිය රැකීමටත්, විශේෂ පුහුණුවක් ලැබු ඔහු විසින් රටට ඇතිවිය හැකි ඕනෑම ව්‍යසනකාරී අවස්ථාවකදී ගුවන, දියඹ, දෙරණ ආශ්‍රිත විශේෂ ක්‍රියාන්විත සිදුකිරීම සදහා මනා හැකියාවක් ඇති පිරිසක් බව විශේෂ හමුදා න්‍යාය යටතේ සදහන් කර ඇත.

විසිරයන ලද කමාන්ඩෝ නිලධාරීන් හා සෙසුනිළයින් හට ‘නොහැක්කක් නොමැත’ ආදර්ශ පාඨය ඇතුලත් මෙරූන් හිස්වැස්ම ප්‍රදානය කිරීම සදහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ නිලධාරි තුමන් සමග කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වන කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න, 53 වන බල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශානක රත්නායක, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් කමල් ධර්මවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක් වු අතර, එම අවස්ථාව විසිරයාමේ උත්සවය නැරඹීමට පැමිණි සියලු දෙනාගේ නෙත්වලට සතුටු කදුළු එක්කළ සංවේදී අවස්ථාවක් විය.

මෙම විසිරයාමේ පෙළපාලියේදී පාඨමාලා කාලසීමාවේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූවන් වෙනුවෙන් කුසලතා සම්මාන පිරිනැමුණු අතර, දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය සාමාන්‍ය සෙබළ කුමාර එච්එම්එල්එස් හටද, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබළා ලෙස සාමාන්‍ය සෙබළ කරුණානායක එම්අයි හටද, සෑම අතින්ම අතිශූර කමාන්ඩෝ සෙබළා හට හිමි කමාන්ඩෝ ඩ්‍රැගරය 2 වන ලුතිතන් එම්එස් ඉසුරංග නිලධාරි විසින් ද හිමිකර ගනු ලැබු අතර, එම කුසලතා සම්මාන පිරිනැමීම යුද්ධ හමුදාපති තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

යුද්ධ හමුදාධිපති තුමා විසින් විසිර යන කමාන්ඩෝ සෙබළුන් හා ඔවුන්ගේ දෙමව්පියන් මෙන්ම උත්සවය නැරඹීමට රැස්ව සිටි පිරිස ආමත්‍රණය කරනු ලැබු අතර, මෙම විසිරයන ලද සෙබළුන් මෙම විශේෂිත බලකායට යොමුකරමින් විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයන් කිරීමට දෙමව්පියන් විසින් ගනු ලැබු වටිනා තීරණයට ගෞරව ස්තූතිය පුදකරනු ලැබු අතර, ඔවුන් කමාන්ඩෝ සෙබළුන් ලෙස පුහුණුකර ශ්‍රි ලංකාද්වීය ස්වෛරීය දේශයක් උදෙසා රටට දායාද කිරීමේ මහඟු කර්තව්‍ය වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති තුමන්ට, මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්ට, පුහුණු පාසලේ සේනාවිධායකතුමන් ඇතුළු සියළුම උපදේශකයින්ට ස්තූතිය පුද කරන ලදී. තවද මෙම උත්සවය සදහා ආරාධිතයින් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල ප්‍රමාණයක් සහභාගි විය.

එමෙන්ම මෙම විසිරයාමේ උත්සවය වර්ණවත් කිරීම වෙනුවෙන් කමාන්ඩෝ සෙබළුන්ට අවේණික යුධ කලාවන් භාවිතා කරනු ලැබු අතර, ඔවුන්ගේ කුසලතාවයන් හා හැකියාන් පිළිබඳ යුද්ධ හමුදාපති තුමාගේ මෙන්ම එම අංගයන් නැරඹු සියලු දෙනාගේම ප්‍රසාදයට කරුණක් විය.

සටන් කුසලතාවයන්ගෙන් අනූන වු සුවිශේෂි හැකියාවන් එක්ව කැටිකර ඉදිරිපත්කරන ලද සංදර්ශනයන් නරඹන්නන්ගේ සිත් අමන්දානන්දයට පත්කරනු ලැබු අතර, ත්‍රාසය හා භීතිය එක්කරමින් මුහුණට මුහුණලා සිදුකරනු ලබන සටන්, සටන් සුනඛ සංදර්ශණ, ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම හා ප්‍රථි ත්‍රස්ථ ක්‍රියාන්විත සංදර්ශනයන් ඉදිරියේ නරඹන්නන්ගේ හදවත් මොහොතක් නරත කරවන්නට සමත්විය.

විශේෂයෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ඉතිහාසයේ ප්‍රථම වරට නිලධාරීන් හා සෙසුනිළයින් 40 දෙනෙකු විසින් එකවර ගුවන් යානයෙන් නික්මෙමින් පැරෂුට් භාවිතා කර ගුවන් තලයේ පෙර නොවු විරූ හැකියාවන් දක්වමින් විවිධ වු අලංකාර රටා මවමින් පොළොවට පතිත වන අයුරු යුධ හමුදාපති මෙන්ම නරඹන්නන්ගේ නෙත් ඇද බැඳ තබා ගැනීමට සමත්වීම සුවිශේෂී ලක්‍ෂණයක් බවත්, කමාන්ඩෝ සෙබළුන් විසින් ඉදිරිපත් කරන ලද පාවෙන තලයක සිට ජීව උණ්ඩ භාවිතා කරමින් ප්‍රථිපලදායි ඉලක්කපත් අත්පත්කර ගැනීමේ නිදර්ශණය හා කමාන්ඩෝ ස්නයිපර්වරුන් විසින් චලනය වන ඉලක්කයන් සදහා වෙඩි තබමින් ඉලක්කපත් ලබා ගැනීමේ නිදර්ශණය ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ මින් පෙර සනිටුහන් නොවී තිබීම ආඩම්බරයට කරුණකී.