Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

කල නොහැක්කක් නොමැත

15th January 2024 16:37:05 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 51 ඊ, එෆ් සහ ජී සාර්ථකව හැදෑරූ කමාන්ඩෝ භටයින් ‘මෙරූන් හිස්වැසුම’ පැළඳ විසිරයයි

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 51 ඊ, එෆ් සහ ජී යටතේ ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ඨ වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් හැකියාවන්ගෙන් සමන්විත වූ නිලධාරින් සහ සෙසුනිලයින්ගේ විසිරයාමේ පෙළපාලිය 2024 ජනවාරි මස 13 වන සෙනසුරාදා දින ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේනාවිධායක වන බ්‍ර්ගේඩියර් බිඑම්එස්කේකේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ ආරාධනයකට අනුව විශිෂ්ඨයින් අතර විශිෂ්ඨයින් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වූ කමාන්ඩෝ භටයින්ගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 51 ඊ, එෆ් සහ ජී යටතේ සාර්ථකව පුහුණු පාඨමාලාව හැදෑරූ නිලධාරින් 03 දෙනෙක් සහ සෙසුනිලයින් 162 දෙනෙකු මෙහිදී විසිර යන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමන්, කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපතිතුමන්, රෙජිමේන්තුවේ සේනාවිධායක තුමන්, කමාන්ඩෝ බළසේනාවේ බළසේනාධිපති තුමන් හා පුහුණු පාසලේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කෙරිණි. ඉන් අනතුරුව සම්මාන පෙළපාලියේ අණදෙන නිලධාරිගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසිරයන කමාන්ඩෝ භටයින්ගෙන් සැදුම්ලත් සම්මාන පෙළපාලිය නිරික්‍ෂණය කිරීමෙන් පසුව සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකල අතර, විසිරයන කමාන්ඩෝ සාමාජිකයන්ගේ දෙමවුපියන් විසින් ඔවුන් වෙත කමාන්ඩෝ ලාංඡනය පැළඳවීමෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපතිතුමන් ඇතළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්ව කමාන්ඩෝ රෙජිමේන්තුව සමඟ එක්වු අභීත පුතණුවන්ට ‘මෙරූන් හිස්වැසුම’ පැළඳවූහ.

පාඨමාලාව හැදෑරූ නව කමාන්ඩෝ සාමාජිකයන් අතරින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරින් සහ සෙසුනිලයන් ලෙස දක්‍ෂතම කමාන්ඩෝ භටයා - ලුතිනන් එස්එම්එල්ඩී කරුණාරත්න, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා - සාමාන්‍ය සෙබල අයිපීඑම්ඩී ඉලන්දර, දක්‍ෂතම වෙඩික්කරු - සාමාන්‍ය සෙබල ආර්කේඑස්ටී ලක්‍ෂාන් ලෙසද සනිටුහන් කරන ලදි.

පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නව කමාන්ඩෝ සාමාජිකයන් වෙත කුසලාන හා සහතිකපත් ප්‍රධානය කිරීමෙන් අනතුරුව විසිරයාමේ පෙළපාලිය ආමන්ත්‍රණය කර රැස්ව සිටි පිරිස ඇමතූ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව කමාන්ඩෝ භටයින්ට සුබ පැතුම් එක් කරන ලදී. දේශනයේදී ඔහු යුද සාම කාලවලදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ කාර්යභාරයේ වැදගත්කම අවධාරණය කළ අතර කමාන්ඩෝ පාඨමාලාවෙන් ලබාගත් විශ්වාසය හා පුහුණුව තුළින් පුද්ගලික ජීවිතය හැඩගස්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවද වැඩිදුරටත් සඳහන් කළේය. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා උත්සවයේ පළමු කොටසේ අවසානය සනිටුහන් කරමින් සමත් වූ කණ්ඩායම සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

විසිරයාමේ උත්සවය සමාප්තියේ, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි පැරෂුට් පතිත කලාපයේදී කමාන්ඩෝ සාමාජිකයන් ඔවුන් සතු අසීමිත ශක්තිමත්භාවය, උපායමාර්ගික කුසලතාවයන් හා ප්‍රහාරක හැකියාවන් මනාව පිළිඹිබු කරමින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැඟවුණු වෙඩික්කරුවන්ගේ ඉලක්කගත කිරීම, ජීව වෙඩි තැබීම, කමාන්ඩෝ භටයින්ගේ සැබෑ ආත්ම ආරක්‍ෂක සටන් ක්‍රම, ත්‍රස්තවාදී ග්‍රහණයට හසුවූ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම, ත්‍රස්ත මර්ධන ක්‍රියාන්විත නිදසුන්, කමාන්ඩෝ සුනඛ (K9) සංදර්ශන සහ නිදහස් ආර පැරෂුට් සංදර්ශන ආදී අංග රැසක් ඉදිරිපත් කරමින් සහභාගිවුවන් මහත් විෂ්මයට පත්කළහ.

එමෙන්ම මෙම විසිරයාමේ උත්සවය වර්ණවත් කිරීම වෙනුවෙන් කමාන්ඩෝ සෙබළුන්ට අවේණික යුධ කලාවන් භාවිතා කරනු ලැබු අතර, ඔවුන්ගේ කුසලතාවයන් හා හැකියාන් පිළිබඳ යුද්ධ හමුදාපති තුමාගේ මෙන්ම එම අංගයන් නැරඹු සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සිවිල් ජනතාවගේ ප්‍රසාදයට කරුණක් විය.

උත්සවය සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් පැරෂූට් පාඨමාලාව හැදෑරූ විදේශීය නිලධාරින් සමඟ සුහඳ පිළිසඳරක නිරත වු අතර, කමාන්ඩෝ රෙජිමේන්තුව වෙතින් ඉදිකිරීමට යෝජිත ලිඩෝ ජම්ප් කලාපයේ ප්‍රථම පස් පිඩැල්ල කැපීම සඳහා රෙජිමේන්තු අධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරන ලදී.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපතිතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරුණු අතර, මෙම සුවිශේෂී උත්සවයේ වැදගත්කම සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තබන ලදි.