16th August 2024 18:28:34 Hours
2024 අගෝස්තු 3 සෙනසුරාදා දින ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත නවතමෙයන් එක්වු කමාන්ඩෝ සාමාජිකයන් පිළිගැනීම සඳහා විශේෂ විසිරයාමේ පෙළපාලියක් පවත්වන ලදී.
කමාන්ඩෝ පාඨමාලා 51 ‘එච්’, ‘අයි’, සහ ‘ජේ’ සඳහා බඳවාගත් නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසුනිළයින් 125 දෙනෙකු කමාන්ඩෝ වරුන් ලෙස මෙරුන් හිස් වැසුම හිමිකර ගැනීම සඳහා වසරකට ආසන්න කාලයක් පුරාවට අතිදුෂ්කර වූ පාඨමාලාවක් අප්‍රතිහත ධෛර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව සාර්ථකව හදාරන ලදි.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි සහභාගි විය. එතුමන් විසිරයාමේ පෙළපාලිය සඳහා පිළිගනු ලැබුවේ 1 බලකා අධිපති තුමන් හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ඒන්ඩීසී, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බීඑම්එස්කේකේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි, කමාන්ඩෝ බලසේනා බළසේනාධිපති බ්‍රිගේඩියර් කේවීඅයිඑල් ජයවීර යුඑස්පි සහ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ආර්ආර්සී කරුණාරත්න ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ප්‍රධාන පිවිසුම අසලදී මහත් හරසරින් යුතුව ප්‍රධාන ආරාධිත අමුත්තා වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව පිළිගන්නා ලදි.
විසිරයාමේ පෙළපාලිය අතරතුරදී නවතමයෙන් විසිර යන කමාන්ඩෝ වරුන් වෙත හිමි කමාන්ඩෝ පළදනාව ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඔවුන් වෙත පළදවන ලද අතර, ලෝකයේ අතලොස්සකට පමණක් හිමිවන මෙරුන් හිස් වැස්ම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු යුද්ධ හමුදාධිපති තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් නව කමාන්ඩෝ සාමාජිකයන් වෙත පිළිගන්වන ලදි.
විසිරයාමේ පෙළපාලියේදි පාඨමාලා කාලසීමාව තුල සියලුම අංගයන්ගෙන් දක්ෂතා දැක්වු අතිශූර කමාන්ඩෝ සෙබලා, හොදම ශාරිරික යෝග්‍යතාවයට හිමි කමාන්ඩෝ සෙබලා සහ අතිශූර වෙඩි තබන්නාට හිමි කුසලාන ලබාගත් සෙබලුන් පහත පරිදි වේ.
හොඳම කමාන්ඩෝ සෙබලා - ලුතිනන් ජිසීඩි කාරියවසම්.
හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි කමාන්ඩෝ සෙබලා - සා/සෙ කුමාර පීකේකේඑස්
දක්ෂතම වෙඩික්කරු - ලුතිනන් ඊඩිසී ද සොයිසා.
යුද්ධ හමුදාධිපති තුමන් රැස්ව සිටි පිරිස අමතමින් නව කමාන්ඩෝ භටයින්ට සිය සුභාශිංසන පිරිනමන ලදී. කමාන්ඩෝ රෙජිමේන්තුව යුධ කාලීන සහ සාම කාලීන අවස්ථා දෙකේදීම ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ඔහු ඉස්මතු කළ අතර, යුද්ධ හමුදාවේ සමස්ත ශක්තිය හා කාර්යක්ෂමතාවයට එහි වැදගත්කම අවධාරණය කළේය. කමාන්ඩෝ පුහුණු පාඨමාලාවෙන් ලබාගත් විශ්වාසය සහ කුසලතා ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා යොදා ගැනීමේ වැදගත්කම ද ඔහු අවධාරනය කළේය. ප්‍රධාන ආරාධිත අමුත්තාගේ කථාවෙන් පසු සියලුදෙනාම සමුහ ඡායාරූපයක් සඳහා එක්වු අතර, එය උත්සවයේ පළමු කොටසේ සමාප්තිය සනිටුහන් කළේය.
මින් පසුව රැස්ව සිටි සියලු දෙනාම කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පිහිටි පැරෂුට් පතිත කලාපය වෙත රැස් වුයේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ කාර්යභාරයට අදාලව කමාන්ඩෝ සෙබලුන්ගේ පවතින තනි තනි සහ සාමුහික හැකියාවන් දැකබලා ගැනීම සඳහායි. මෙහිදි සැගව සිටින වෙඩික්කරුවන්ගේ වෙඩි තැබීමේ කුසලතාවයත්, කමාන්ඩෝ රෙජිමන්තු සාමාජිකයින්ගේ වෙඩි තැබීමේ හැකියාවත් පිළිබිඹු කෙරෙන වෙඩි තැබීමේ අංගයක්, තාත්වික සටන්ක්‍රමය පිළිබදවු නිදර්ශනයක්, ප්රණ ඇපකරුවන් මුදවාගැනිමේ මෙහෙයුමේ නිදර්ශනයක්, විශේෂ පුද්ගල ආරක්ෂක රාජකාරින් අලලා සිදුකරන ලද නිදර්ශණයක් සහ සටන් සුනඛයින් යොදාගෙන සිදුකරන ලද නිදර්ශණය පැමිණ සිටි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සියලුම දෙනාගේම පැසසුමට ලක්වන ලදි. නිදහස් ආර පැරෂුට් සංදර්ශණය උත්සවය සඳහා අමතර වර්ණවත් භාවයක් සහ ජවයක් එක් කර තිබු අතර, එය පැරෂුට් පතිත කලාපයේ පැවති නිදර්ශණයන්හි අවසානය සනිටුහන් කලේය.