Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

රෙජිමේන්තු ධජය

ගැමුණු හේවා රෙජිමේන්තුවේ අභිමානය, නිර්භීිත භාවය හා රණ ශූරත්වය මනාව පිළිබිඹු වන පරිදි අප රෙජිමේන්තු ධජය නිර්මාණය කර ඇත. හෙළ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නරවිරුවෙකු වන දුටු ගැමුණු මහ රජුට නෑකම් කියන ඉතිහාසයකින් සමන්විත ගැමුණු හේවා රෙජිමේන්තුව දුටු ගැමුණු මහ රජු සංග‍්‍රාමයේ දි භාවිතා කරන ලද ධජ පතාකය අනුව යමින් අභිමානය සහ අභිත භාවය විදහා දක්වමින් තම ධජයද නිර්මාණය කර ඇත. ශි‍්‍ර ලංකා ඉතිහාසයේ රණශූර විශිෂ්ටතම නරපතියෙකුගේ වීරෝදාර කි‍්‍රයා පිළිබිඹු කරන මෙම ධජය ගැමුණු හේවා බලකායේ අභිත රණවිරුවන්ට ද එම විරොදාර රණශූර සම්ප‍්‍රදාය සිහියට නඟමින් පෙරමුණටම යාමට දිරිය ලබාදෙනු ඇත.

අභිමානවත් ගැමුණු නාමය හා සෑම සංග‍්‍රාමයකට ම පෙර ගැමුණු රජු විසින් ආශිර්වාද ලබාගත් ස්කන්ධ දිව්‍ය රාජයාගේ දිව්‍ය රථය වූ ද රාජකීය බවින් මෙන්ම අභිමානයෙන් ද, පවිත‍්‍රත්වයෙන්, සිහිකල්පනාවෙන් හා කායික සුන්දරත්වයෙන් ද ලොව පක්‍ෂීන් අතර අගතැන් ගත් පක්‍ෂියෙකු වූ මයුරා, බලකා ධජයෙහි යොදාගැන්ම බලකායේත් හේවායන්ගේත් ප්‍රෞඪත්වය මැනවින් විදහාපායි. එවකට ඉපැරණි විහාරාරාමයන් හි සහ පොත්ගුල් විහාර වාසීව වැඩ සිටි භික්‍ෂූන් වහන්සේලාගේත් බහුශ‍්‍රැත පඩිවරුන්ගේත් උපදෙස් හා අනුශාසනා අනුව අනගි නිර්මාණයක් ලෙස වර්ණවත්ව ජෙෆ්රි බාවා නිර්මාණකරුවා මූලිකව නිර්මාණය කළ ධජයට ගැමුණු හේවා බලකායේ නිර්මාතෘ බි‍්‍රගේඩියර් ජේ එෆ් හලංගොඩ මැතිදුන් විසින් එක්කළ වේලායුධ දහය දුටුගැමුණු රජුගේ විජයග‍්‍රහණයන් සඳහා සිය අයෝමය බලයෙන් දායක වු දසමහ යෝධයන් සංකේතවත් කරන අතර ම මින් ධජයට ද විචිත‍්‍ර භාවයක් එක් කරයි.

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පෙර සිටම සිරිතක් වශයෙන් භාවිතා කරන මූලික වර්ණයන් වන රතු, සුදු, රන්වන් කහ සහ නිල් යන වර්ණ සතර පෙරදැරි කරගෙන ගැමුණු හේවා බළකා ධජය සකස් කර තිබේ. රතු වර්ණයෙන් සටනේදී ජයග‍්‍රහණත්, සුදු වර්ණයෙන් නිර්මල භාවයත්, රන්වන් කහ වර්ණයෙන් දුටු ගැමුණූ රජතුමාගේ ජන්ම භූමිය වූ රුහුණු රටට හිමි වර්ණයත්, නීිල වර්ණයෙන් දුටුගැමුණු රජු, කතරගම දෙවියන් සහ මොණරා අතර ඇති ති‍්‍රවිධ සම්බන්ධයත් විදහා දැක්වේ. ධජයෙහි නිරූපිත ඉර සහ සඳ පිළිබිඹු කරන්නේ සදාතනික බව සහ ස්ථිරසාර භාවයයි. වේලායුධ දහයෙන් දුටු ගැමුණු රජතුමාගේ දසමහ යෝධයින් වන නන්දි මිත‍්‍ර (නායක), සුරනිමල, මහසෝණ, ගෝඨයිම්බර, ථෙරපුත්ථාභය, භරණ, වේළුසුමන, ඛන්චදේව, ඵුස්ස දේව, ලහිය වසභ යන දස මහා යෝධයින් සංකේතවත් කරයි. මෙසේ දස මහ යෝධයින් පෙරදැරි කොට යෝධ බල යෝධ ශක්තිය යොදා ගොඩනගා ඇති මෙම බලකායේ ‘‘මා නිවත්‍ථ අභික්කම ’’ ආදර්ශ පාඨය වන අතර හෙළ බසින් එය ‘‘නොනැවති ඉදිරියට ’’ යන්න වේ.